ශ්‍රී ලංකාවට පැමිණෙන නිහැරි කුරුල්ලන් සමූහයෙන් මෙරට වඩාත් ජනප්‍රිය කුරුල්ලකු වන්නේ සියක්කාරයාය. ෆ්ලෙමින්ගෝ යනුවෙන් ඉංග්‍රීසි බසින් හඳුන්වන සියක්කාරයන් ලෝකයේ විශේෂ හයක් දැකිය හැකිවෙයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ ද ලෝකයේ ෆ්ලෙමිංගෝ විශේෂ හතක් ජීවත්වී ඇතැයි සැළකේ. ඔවුන් වර්තමානයේ දක්නට ඇති ෆ්ලෙමිංගෝ විශේෂවලින් වෙනස් වූ ලක්ෂණ දැරූ බව ද පවසන විද්‍යාඥයන් එම විශේෂ හතට වෙනත් විද්‍යාත්මක නම් දී ඇත.
දැනට ලොව වාර්තාවන ෆ්ලෙමිංගෝ විශේෂ හයෙන් විශේෂ දෙකක් ශීත සෘතුව එළඹීමත් සමග ශ්‍රී ලංකාවට ද පියඹා එති. ඉන් එක් විශේෂයක් වන්නේ Greater Flamingo යනුවෙන් ඉංග්‍රීසි බසින් හැඳින්වෙන රජ සියක්කාරයාය. සත්ත්ව විද්‍යාත්මකව ෆීනිකොප්ටෙරස් රොසේයුස් (Phoenicopterus roseus) ලෙස හැඳින්වේ.
ලොව පුළුල්ව පැතිරී සිටින පක්ෂි විශේෂයක් ලෙස පිළිගැණේ.
අප්‍රිකා මහද්වීපයේ කොටසක් නිජබිම් කැරගත් මේ පක්ෂියා දකුණු ආසියාවේ පකිස්ථානයේ හා ඉන්දියාවේ ද වාසය කරයි. ස්පාඤ්ඤය, ඇල්බේනියාව, තුර්කිය, ග්‍රීසිය, සයිප්‍රස්, පෘතුගාලය, ඉතාලිය හා ප්‍රංශයේ ද ජීවත් වෙති.
විශාල රංචු වශයෙන් සියක්කාරයෝ වාසය කරති. එක් රංචුවකට 500ක් 1000ක් පමණ කුරුල්ලන් පිරිසක් අයත් වෙති. සුදු රෝස හා රතු මිශ්‍රිත සිරුරකට හිමිකම් කියන සියක්කාරය ඉතා අලංකාර පක්ෂියෙකි. සෙන්ටිමීටර 110ත් 150ත් අතර උසකට වැඩෙන සියක්කාරයකු අත්තටු විහිදූ විට දෙකෙලවර පරතරය මීටරයක් පමණ වේ.
රතු පැහැයට හුරු දිගු කකුල් හේතුවෙන් කළපුවල, මඩගොහොරුවල සහ නොගැඹුරු ජලයේ ඇවිදිමින් ආහාර සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.
උතුරු අර්ධගෝලයට ශීත සෘතුව එළඹීමත් සමග කිලෝ මීටර් දහස් ගණන් දුර ගෙවා උණුසුම් රටවලට පැමිණෙයි. සියක්කාරයා වරකට බිත්තර 3 - 4 දමයි.
ෆ්ලෙමිංගෝ සතුන් සිය වාසස්ථාන කරගන්නා වගුරු බිම් හා කලපු විනාශය මොවුන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත. මේ කුරුල්ලන් පියඹායන මාර්ගයේ තනන විදුලි කම්බි ද ඔවුන්ට මාරකයක් වී ඇත.
ශ්‍රී ලංකාවට පැමිණෙන නිහැරි කුරුල්ලන් අතරින් බහුලවම දැකිය හැකි කුරුල්ලකු වන්නේ අටු වැහිලිහිණියාය. සංචාරක පක්ෂි සමය උදාවූ බව හඟවමින් මුලින් ම මෙරටට පැමිණෙන්නේ ද මොවුන්ය. ඉංග්‍රීසි බසින් බාන් ස්වොලෝව් යනුවෙන් හඳුන්වන අටු වැහිලිහිණියා සත්ත්ව විද්‍යාත්මකව හිරුන්ඩො රුස්ටිකා (Hirundo rustica) ලෙස හඳුන්වයි.
ලෝකයේ වැඩිම ව්‍යාප්තියක් නේවන වැහිලිහිණි විශේෂයයි. මේ පක්ෂියාගේ සිරුරේ උඩුපැත්ත නිල් පැහැතිය. උදරය ඇතුළු යටි පැත්ත සුදු පැහැතිය. පපු පෙදෙසේ තද නිල් පැහැති දාරයක් දක්නට ලැබෙයි. හොටයට ඉහළින් සහ ගෙල යට තද දුඹුරු පැහැතිය. වකුටු වී දෙකට බෙදුණු දිගැති වලිගයකි. උල් පියාපත් දරයි. යුරෝපය නිජබිම කැරගත් මේ පක්ෂියා ආසියාව, අප්‍රිකාව හා ඇමෙරිකාව ඇතුළු විශාල ප්‍රදේශයක පැතිර සිටියි.
යුරෝපයේ මේ පක්ෂියා පොදුවේ ලිහිණියන් ලෙස හැඳින්වුව ද ඔවුන්ගේ උප විශේෂ හයක් දක්නට ඇත. උතුරු අර්ධගෝලයට ශීත සෘතුව පැමිණීමත් සමග ඉතා දුෂ්කර මඟ ගෙවා විශාල දුරක් පියඹා යන මේ පක්ෂීහු දකුණු අර්ධගෝලයේ රටවල් කරා පැමිණෙති.
ඉතා විශාල ව්‍යාප්තියක් දක්නට ලැබීම නිසා ම සුලබ පක්ෂියකු ලෙස හැඳින්වෙන අටු වැහිලිහිණියා අන්තරායකර සත්ත්වයකු නොවූව ද ඔවුන් ප්‍රාදේශීය වශයෙන් ඇතැම් ස්ථානවල දී තර්ජනයට ලක්වූවන් ලෙස හඳුනාගෙන ඇත.
විශාලත්වයෙන් සෙන්ටිමීටර 17ක් 19ක් පමණ වන මොවුන් පියාපත් දිග හැරිය විට පියාපත් කෙළවර අතර දිග සෙන්ටිමීටර 32ක් හෝ 34.5ක් වෙයි. බර ග්‍රෑම් 16ත් 22 ත් අතර වූ කුඩා පක්ෂියෙකි.
මේ පක්ෂීන්ගේ විශේෂත්වයක් වන්නේ ඔවුන් මිනිසා විසින් නිමැවූ ස්ථානයන්හි ලැගුම් ගැනීමට වැඩි ප්‍රියතාවක් දැක්වීමයි. මෙහි ප්‍රතිඵලයක් වන්නේ මිනිසාගේ ව්‍යාප්තියත් සමග මේ කුරුල්ලන්ගේ අභිජනනය ද ව්‍යාප්ත වීමයි. මිනිසුන් ගැවසෙන ස්ථානයන්හි ජීවත්වීමට ප්‍රිය කරන මේ කුරුල්ලෝ ගොඩනැගිලි ආශ්‍රිත අඳුරු ස්ථානයන්හි මඩ ගුලි උපයෝගීකරගෙන කැදලි තනිති.
අටු වැහිලිහිණියා ඕස්ට්‍රේලියාවේ හා එස්ටෝනියා රාජ්‍යයේ ජාතික පක්ෂියාය.
නිහැරි කුරුල්ලන්ගේ පැමිණීම සනිටුහන් කරමින් මෙරටට පැමිණෙන අටු වැහිලිහිණියා රාත්‍රී කාලයේ දී රත්නපුරය නගරයේ විදුලි කම්බි මත එකිනෙකාට ලංවී සිය දහස් ගණනින් ලැගුම් ගෙන සිටින ආකාරය සුලබ දසුනකි.
නිල් පෙඳ බිඟුහරයා
සෑම වර්ෂයක ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන් හෙවත් නිහැරි කුරුල්ලන් අතර නිල් පෙඳ බිඟුහරයා සුලබව දක්නට ලැබෙන පක්ෂියෙකි. වලිගය නිල් පැහැති වීමත් බිඟුන් හෙවත් මී මැස්සන් ආහාරයට ගැනීමත් හේතුවෙන් මේ කුරුල්ලා හඳුන්වන්නේ නිල් පෙඳ බිඟුහරයා යනුවෙනි.
ඉංග්‍රීසි බසින් ‘‘බ්ලූ ටේල්ඩ් බී ඊටර්“ ලෙස හඳුන්වන මේ කුරුල්ලන් සත්ත්ව විද්‍යාත්මකව මෙරොප්ස් පිලිපීනස් (Merops philippinus) ලෙස හඳුන්වයි. මේ පක්ෂි විශේෂය ඉතා ශක්තිමත් හා ප්‍රබල පර්යටන පක්ෂියකු හෙවත් නිහැරි කුරුල්ලකු ලෙස පිලි ගනී.
ඉතා වර්ණවත් කුඩා පක්ෂියෙකි. විශාලත්වය සේන්ටිමීටර 23-25ක් පමණය. සිරුරේ වැඩිපුර දක්නට ඇත්තේ කොළ පැහැයයි. ඇස අසළ කළු රේඛාවකි. ගෙල යට පෙදෙස කහ සහ දුඹුරු පැහැති මිශ්‍රව දක්නට ලැබෙයි.
වලිගය මැදින් දික්වූ නිල් පැහැති පිහාටු දෙකත් වර්ණවත් බවත් හේතුවෙන් මේ කුරුල්ලා පහසුවෙන් හඳුනාගැනීමට හැකියාව ලැබේ.
මීමැස්සන් මොවුන්ගේ ප්‍රධාන ආහාරය වන අතර අනෙක් කෘමි වර්ග ද ආහාරයට ගනී. මොවුන් ආහාර ගැනීමේ විශේෂත්වයක් වන්නේ අල්ලාගන්නා මී මැස්සා තදින් අත්තක ගසා ඔවුන්ගේ විෂ කෝෂය ඉවත්කැර ගිල දැමීමේ සුවිශේෂී හැකියාවයි.
ශ්‍රී ලංකාවට පැමිණි පසු නගරබදව පවා බහුලව දක්නට ලැබෙන නිල් පෙඳ බිඟුහරයා රාත්‍රියේ දී රංචු වශයෙන් ලැගුම් ගනී.
බිත්තර දැමීම සඳහා පොළොව හාරා කුඩා උමගක් සාදා ගන්නා මොවුන් වරකට බිත්තර පහක් හෝ හතක් දමයි. ඒවා සුදු පැහැතිය. වටකුරුය. කුමන ප්‍රදේශයේ දී මොවුන්ගේ කැදලි හමුවී ඇති බැවින් දිගටම මෙරට වාසය කරන නිල් පෙඳ බිඟුහරයන් සමූහයක් සිටිතැයි පරිසරවේදීන්ගේ මතයයි.
මෙවර සංචාරක පක්ෂීන්ගේ පැමිණීම සනිටුහන් කරමින් දැනටමත් නිල් පෙඳ බිඟු හරයන් මෙරටට පැමිණ ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ දැන් සංචාරක පක්ෂි සමය ඇරඹී ඇති බවයි.
සුදු, කළු, අළු සහ දුඹුරු පැහැ මිශ්‍රිත සිරුරක් ඇතිව වලිගය වන වනා යන ඉතා සුලබ සංචාරක පක්ෂියෙක් හෙවත් නිහැරියකු කුරුල්ලෙකි ‘‘වන හැලපෙන්දා“. ඉංග්‍රීසි බසින් ෆොරස්ට් වැග්ටේල් නමින් හඳුන්වන වන හැලපෙන්දා සත්ත්ව විද්‍යාත්මකව Dendronanthus indicus හඳුන්වයි. වනගත පක්ෂියකු ලෙස හැඳින්වුව ද ඇතැම් අවස්ථාවල දී ගෙවතු ආශ්‍රිතව ද දක්නට ලැබෙයි. වන හැලපෙන්දා ඉතා කඩිසර කුරුල්ලෙකි. ගේ කුරුල්ලකු තරම් සිරුරකට හිමිකම් කියන වන හැලපෙන්දාගේ උඩුකය තද කළුවන් දුඹුරුය. පැහැදිලි සිහින් ඇහි බැමකි. සිරුරේ යටිපැත්ත තරමක් කිලිටි පැහැති දුඹුරුවන්ය.
සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල දී ශ්‍රී ලංකාවට පැමිණෙන වන හැලපෙන්දාගේ නිජබිම වි ඇත්තේ කොරියාවේ ප්‍රදේශ කිහිපයක්, චීනයේ ප්‍රදේශ කිහිපයක් හා සයිබීරියාවයි. එම රටවලට ශීත සෘතුව උදාවීමත් සමග මොවුන් සැතපුම් දහස් ගණන් දුර ගෙවා ඉන්දියාවේ දකුණු දිග ප්‍රදේශයට, ශ්‍රී ලංකාව හා අන්දමන් දූපත් වෙත ගමන් කරයි.
මාස කිහිපයක් ගත කරන මේ කුරුල්ලෝ යළි මාර්තු මාසයේ සිය ගම්බිම් වෙත පියඹා යති. එක් නිමේෂයක් හෝ නිසොල්මන්ව සිටිය නොහැකි හැලපෙන්දා සිය වලිගය වනමින් කොළ රොඩු අතර සැඟව සිටිනා කුඩා කෘමීන් ආහාරයට ගනී.
මෙවැනි පක්ෂියකු දුටු වහාම කුරුළු විද්‍යා අධ්‍යයන කවයට ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස එහි පර්යේෂකයෝ ඉල්ලා සිටිති.
විද්‍යුත් තැපෑල හරහා migrantwatch.srilanka@gmail.com හෝ කුරුළු විද්‍යා අධ්‍යයන කවයේ Facebook හරහා https://www.facebook.com/groups/fogsl/ හෝ සාමාන්ය තැපෑල ඔස්සේ කුරුළු විද්‍යා අධ්‍යයන කවය, සත්ත්ව විද්‍යා අංශය, විශ්වවිද්‍යාලයය, කොළඹ 3. වැඩි විස්තර දුරකථන මගින් 0718440144. / 0777356931 ඔස්සේ ද ලබාගත හැකිය.
එකිනෙකාට වෙනස් වූ වර්ණයෙන් ගෙල පිල් කළඹක් සහිත අපූරු පක්ෂි විශේෂයක් ලෙස ලොවිච්චියා හැඳින්වේ. පිරිමි සතුන්ගේ ගෙල වටා ඇති පිල් ගොමුව ලොවිච්චියක් වැනි වීම හේතුවෙන් ඔවුන්ට මේ නම ලැබී ඇත. ඉංග්‍රීසි බසින් රෆ් Ruff ලෙස හඳුන්වන මොවුන් සත්ත්ව විද්‍යාත්මකව වර්ගීකරණය කර ඇත්තේ ෆිලොමැචස් පුග්නැක්ස් Philomachus pugnax නමිනි.
බ්‍රිතාන්‍යයේ සිට සයිබීරියාව දක්වා නැගෙනහිර දෙසට උතුරුදිග සෞම්‍ය කලාපයේ සිටින ලොවිච්චියා ශීත සෘතුවේ දී ආහාර හිගවීත් සමග අප්‍රිකාව, දකුණු ආසියාව, ඕස්ට්‍රේලියාව සහ දකුණු ඇමෙරිකා වේ ඇතැම් ප්‍රදේශවලට පියාසර කරයි.
ලොවිච්චියාගේ ගැහැනු සතුන්ට වඩා පිරිමි සතුන් විශාලත්වයෙන් යුතුය. ගැහැනු සතකු සෙන්ටි මීටර 20 ත් 25ත් අතර ප්‍රමාණයකින් වැඩෙන විට පිරිමි සතකු විශාලත්වයෙන් සෙන්ටි මීටර 25ත් 32ත් පමණ වෙයි. පැටවුන් බිහිකරන සමය ආසන්න වීමත් සමග ගැහැණු සතා හා පිරිමි සතා ඉතා පැහැදිලිව දැකිය හැකි ලිංගික ද්විරූපතාවක් පෙන්නුම් කරයි. අභිජනනයට සූදානම් වීමත් සමග පිරිමි සතාගේ හිස දෙපස වර්ණවත් සවන් පිල් ගොමුවක් හා ගෙන වටා ලොවිච්චියක් වැනි පිල් ගොමුව වර්ධනය වේ. එකම ආසන්නයේ සිටින පිරිමි සතුන් දෙදෙනකුගේ මේ පිල් කළඹ සමාන වර්ණයක් ගන්නේ ඉතා කලාතුරකිනි. එකිනෙකාගේ වෙනස් වර්ණ ගනී.
තම සහකාරිය තෝරාගැනීමට පිරිමි ලොවිච්චියෝ එළිමහන් ස්ථානයකට රැස්ව රංගනයේ යෙදෙති. ගැහැනු සත්තු මේ රංග භූමියේ දී තම සිත්ගන්නා සහකරු තෝරා ගනිති. ඔවුන්ගේ සංසර්ගය සිදුවන්නේ ද මේ රංග භූමියේ දී මය. පර්යේෂකයන් පවසන්නේ මෙවැනි රංග භූමියක මැද සිටින පිරිමි සතුන්ට එක් සහකාරියකට වඩා වැඩි ගණනක් තෝරා ගැනීමේ අවස්ථාව හිමිවන බවයි. එමෙන් ම ගැහැනු සතුන් ද එකම රංග භූමියේ ස්ථාන කිහිපයකට හෝ රංග භූමි කිහිපයකට හෝ ගොස් තම සහකරු සොයා ගන්නා බව තහවුරු වී ඇත.
රත්පා සිලිබිල්ලා නමැති පක්ෂියාට බොහෝ සෙයින් සමාන රූපයක් සහිත ලොවිච්චියාගේ කකුල්වල පැහැය කහ වීමත්, පිට කයේ ස්වභාවය හා හොටය මුල රතු පැහැ නොවීමත් හේතුවෙන් රත් පා සිලිබිල්ලාගෙන් වෙන්කැර හඳුනාගත හැකිය.
බිම කැදැල්ලක් තනා වරකට දුඹුරු තිත් සහිත කොළ පැහැති බිත්තර 4ක් 5ක් දමයි.
ශ්‍රී ලංකාවේ පහතරට වියලි කලාපයේ මිරිදිය වගුරු, කුඹුරු කලපු ආශ්‍රිතයට පැමිණෙන මොවුන් මඩතුලට හොටයෙන් ඇණ සතුන් සොයමින් ද විටින් විට පිහිණමින් ද සතුන් අල්ලා ගිල දමයි.
වේරගොඩගේ සජිව විජේවීර
No comments:
Post a Comment