1
කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා යනු මෙරට සිටින මිරිදිය මත්ස්‍යයන් අතර ඉතා දුර්ලභ එමෙන් ම වඳවීයාමේ දැඩි තර්ජනයකට ලක්ව සිටින මාළුවෙකි. වර්තමානයේ මතුගම අත්වැල්තොටින් පමණක් හමුවන මේ මත්ස්‍ය විශේෂය හඳුනාගැනීම සම්බන්ධයෙන් ඇත්තේ අපූරු කතාවකි.
හල්මල් දණ්ඩියා නමැති සත්ත්ව විශේෂය මුල්වරට හඳුනාගෙන ඇත්තේ මෙරට ප්‍රකට සත්ත්ව විද්‍යා පර්යේෂකයකු වූ පී.ඊ.පී.දැරණියගල මහතා විසිනි. ඒ 1930 වර්ෂයේ ගිලීමලේ රක්ෂිතයේ ඇල මාර්ගයකිනි. එකළ රැස්බොරා වෙටරිෆ්ලෝරිස් (Rasbora vaterifloris) ලෙස හල්මල් දණ්ඩියා සත්ත්ව විද්‍යාත්මකව නම්කැර තිබිණි.
ඉතා සුන්දර මාළුවකු වූ හල්මල් දණ්ඩින් එකළ ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට අපනයනය කෙරුණි. මෙලස මෙරට සිට 1957 වර්ෂයේ දී ජර්මනියට ගෙන ගිය හල්මල් දණ්ඩි කිහිප දෙනකු අතර වෙනස් ස්වරූපයක් ගන්නා මාළුවකු සිටින බව දුටු ජර්මන් ජාතික සත්ත්ව විද්‍යා පර්යේෂක වින්කින් මහතා ඒ මාළුවා ගැන පර්යේෂණයක් කරමින් කියා සිටියේ එම මාළුවා මෙතෙක් හඳුනාගෙන සිටි රැස්බොරා වෙටරිෆ්ලෝරිස් Rasbora vaterifloris හෙවත් හල්මල් දණ්ඩියා යන මාළුවාගෙන් වෙනස් වූ සත්ත්ව විශේෂයක් බවයි.
ඒ අනුව වින්කින් විසින් සොයාගත් මාළුවාට රැස්බොරා යන ඝන නාමය යටතේ ම රැස්බොරා නිග්‍රොමාජිනාටා Rasbora nigromarginata යන නම ලැබිණි. එසේ වුව ද මේ මාළුවා ශ්‍රී ලංකාවේ කවර ප්‍රදේශයකින් අල්ලාගත් සත්ත්වයකු ද යන්න පිළිබඳ සොයාගත නොහැකි වූ බැවින් වැඩි දත්ත ප්‍රමාණයක් හෙලිදරව්කැර ගත නොහැකි විය.
පසු කළෙක සත්ත්ව විද්‍යාඥයෝ රැස්බොරා Rasbora යන ඝන නාමය රැස්බොරයිඩස් Rasborides ලෙස වෙනස් කැර තිබිණි. ශ්‍රී ලංකාවේ ස්ථාන රැසකින් මේ මත්ස්‍යයා ගැන සොයා බැලුව ද දශක ගණනාවක් යනතුරු එවැනි මාළුවකු හමු නොවූ බැවින් රැස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා Rasborides nigromarginata මෙරට සත්ත්ව නාමලේඛණයෙන් ඉවත් කැරිණි.
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය ශ්‍රී ලංකවේ මිරිදිය මසුන් පිළිබඳ දීප ව්‍යාප්ත ගවේෂණයක් ආරම්භ කරන ලදී. එහි පර්යේෂකයේ 2011 වර්ෂයේ දී මතුගම අත්වැල්තොට ගවේෂණයක නිරතවෙමින් සිටිය දී හමුවූ හල්මල් දණ්ඩි පරීක්ෂා කිරීමේ දී පෙනී ගියේ වසර 54ක කාලයක් ලෝකයෙන් වසන් වී සැඟවී සිටි රැස්බොරා නිග්‍රොමාජිනාටා ලෙස නම්කැර තිබී පසුව රැස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා ලෙස නම්කරන ලද මත්ස්‍ය විශේෂය එම ස්ථානයේ සිටින බවයි. ඒ වනවිට මේ මාළුවා මෙරට සත්ත්ව ලේඛණයෙන් ඉවත්කැර තිබීම ද විශේෂත්වයකි.
අත්වැල්තොටින් හමුවූ හල්මල් දණ්ඩියා ගිලීමලෙන් හමුවූ හල්මල් දණ්ඩියා හෙවත් රැස්බොරයිඩය් වෙටරිෆ්ලෝරිස් Rasbora vaterifloris නමැති සත්ත්වයාට බොහෝ සෙයින් සමාන වුව ද වෙනත් විශේෂයකි. රැස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා ලෙස ජර්මනියේ වින්කින් මහතා විසින් මේ සත්ත්වයා හඳුන්වා ඇත්තේ වරළේ පිහිටි පැහැදිලි කළු පැහැති රේඛාවක් හේතුවෙනි. මේ මත්ස්‍යයා ගිලී මලේ ප්‍රදේශයෙන් හමුවන හල්මල් දණ්ඩියාට වඩා තරමක් රන්වන් පැහැතියි.
ඒ හේතුවෙන් පර්යේෂකයෝ රැස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා නමැති මත්ස්‍යයාට කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා නමැති සිංහල නම යොදා ඇත. පරිසරවේදීන් පවසන්නේ කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා දැඩි සේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයක් බවයි.
වනාන්තර විනාශ කිරීම්, ඇළ දොළ ගංඟා ඉවුරු විනාශ කිරීම හා කෘමි නාශක භාවිතය මේ සතුන්ගේ පැවැත්මට දැඩි තර්ජනයකි.
රැස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා හෙවත් කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා
මිරිදිය මසුන් ගැන පරික්ෂණ සිදුකරන ආකාරය
කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා සොයාගත් අත්වැල්තොට
2
ශ්‍රී ලංකාවේ සිටින අතිශය දුර්ලභ මත්ස්‍ය විශේෂයන් අතර බන්දුල පෙතියා නමැති මාළුවාට ද හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ශ්‍රී ලංකාවට ආවේණික මේ කුඩා මාළුවා මෙරට හමුවන්නේ ද එක් ඇල මාර්ගයක පමණි. බන්දුල පෙතියා සොයාගනු ලැබුවේ 1990 වර්ෂයේ දී ය.
සත්ත්ව විද්‍යාත්මකව Pethiya bandula ලෙස මේ මාළුවා හැඳින්වේ. මාළුවා මුල්වරට සොයාගත් රංජිත් බන්දුල මහතා සිහිවීම පිණිස මේ මාළුවාට එම නම දී ඇත. සිංහල බසින් බන්දුල පෙතියා යන නමින් මෙන් ම ජයන්තියා යන නමින් ද හැඳින්වේ.
මේ මත්ස්‍යයාගේ විශේෂත්වය වන්නේ දැදිගම ප්‍රදේශයේ ගම්මාන තුනක් වූ හපුගොඩ, මිණිපුර හා හල්පිටිය හරහා ගලා බස්නා කුඩා ඇළක පමණක් ජීවත් වීමයි. එම ඇල මාර්ගය ගුරුගොඩ ඔයට එක්වේ. ගුරුගොඩ ඔයෙන් ගලායන ජල කඳ කැලණි ගඟට එක්වෙයි.
කුඩා සීමා සහිත ප්‍රදේශයකට සිමා වූ බන්දුල පෙතියා වඳවී යාමේ දැඩි තර්ජනයට ලක්ව සිටීම හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශය සංරක්ෂණ ව්‍යාපෘතියක් දියත් කැර තිබිණි. මේ ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ ඔවුන් සංරක්ෂණය කිරිමේ කාර්යයේ දී මසුන් ආරක්ෂා කර බෝ කිරීමේ කාර්යය සඳහා ගම්වැසියන්ගේ ද සහාය සෘජුවම ලබා ගැණිනි.
තම ගමේ සිටින කුඩා මාළුවා මුළු රටට ම පමණක් නොව ලෝකයට ම සම්පතක් බව තේරුම්ගත් ගැමියෝ ස්වේච්ඡාවෙන් ම මේ සංරක්ෂණ කාර්යයට දායක වූහ.
සිරුරේ කෙලින් අතට පිහිටි පැහැදිලි ඉරි දෙකක් සහිත වැඩුණු සතකුගේ දිග අඟල් දෙකක් පමණ වේ. වරල, ගුද වරල හා යෝනි වරල් කළු පැහැයෙන් දක්නට ලැබෙයි.
වැලි සහිත පතුලක් ඇති පිරිසිදු ජලය බැස යන දිය පහරවල පත්ල ආසනන්නය තම වාසභූමිය කරගෙන ජීවත්වෙයි. 2003 දී බන්දුල පෙතියා සංරක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ කරන විට මුළු ලෝකයට ම බන්දුල පෙතියන් සිටියේ 150ක් පමණ සුළු පිරිසක් යැයි මෙරට මාළු පිළිබඳ පර්යේෂණ ගණනාවක් සිදුකළ මහාචාර්ය දේවක වීරසිංහ මහතා පවසයි.
එම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස දැන් බන්දුල පෙතියන් 1500ක පමණ ඝනත්වයක එම දොළේ දක්නට ඇතැයි සත්ත්ව විද්‍යාඥයෝ කියති. ඒ අනුව පැහැදිලි වන්නේ බන්දුල පෙතියා සංරක්ෂණ ව්‍යාපෘතිය සාර්ථ්ක වී ඇති බවයි. දැන් හපුගොඩ ගම්මානයේ මේ ව්‍යාපෘතියට අදාලව තොරතුරු මධ්‍යස්ථානයක් ද ඉදිකැර ඇත.
වේරගොඩගේ සජිව විජේවීර
No comments:
Post a Comment