සඳුන් කුංකුම වත තවරා රන්වන් රුවක් ලබන සිත් ඇතිව පරිස්සමින් සමට සත්කාර කරන්නට සිතන සිතුවිලි කාලයේ වේගය ඇති කළ වෙනස්කම විසින් වෙනසකට ලක් කරන ලද්දේ ක්ෂණික සහ ඉක්මන් යන න්‍යාය ඊට ද වලංගු කරමිනි. ජීවිතය සොබාදහම සමඟම ඈඳිය හැකි නම් සොබාදහමේ විශ්මිත සහ අපූර්වතම උරුමයන් අප වෙත තිළිණ කරන දායාද බොහොමකි. එහෙත් ජීවිතයේ ඒ හෘදයාංගම ගනුදෙනුවලින් දුරස්වූ මිනිස් ජීවිතය අද අති ධාවනකාරී පාරිභෝගිකවාදී සමාජ ව්‍යුහය මත අතිශය යාන්ත්‍රික තත්්ත්වයකට ලක්ව ඇත.
ස්වාභාවික ආහාරපාන වෙනුවට කෘත්‍රිම ආහාර අනුභව රටාවකට සහ ස්වාභාවික රුව අලංකරණ ක්‍රම වෙනුවට කෘත්‍රිම ආලේපන සහ රූපලාවන්‍යාගාරවලින් ඉක්මනින් පහසුවට මුදල් ගෙවා කරගත හැකි රුව අලංකරණ ක්‍රමවලට විශේෂයෙන්ම කාන්තාවන් යොමු වීම කෙරෙහි බලපා ඇත්තේ ද ඉහත කී කාර්යබහුලත්වය සහ යාන්ති‍්‍රකකරණය වූ ජීවිත රටාවයි.
වරින් වර සමාජය අතික්‍රමණය කරන උන්මාදයන්වලට අනුගත වීම ද අප සමාජයේ දක්නට ඇති සුවිශේෂ ලක්ෂණයකි. තරුණ පෙනුම බොහෝ කල් රැක ගැනීමට සහ සම සුදු කරගැනීමට අද යුවතියන් සහ කාන්තාවන් දරන උත්සාහය ද උන්මාදයක් බවට පත්වී ඇති බව සඳහන් කිරීම නිවැරැදිය.
සුදු පැහැයට බහුතරයක් කාන්තාවන් දක්වන කැමැත්ත සහ සම සුදු පහැ කරගැනීම වෙනුවෙන් තමන්ට හැකි ඕනෑම මුදලක් වියදම් කරන්නට, ඕනෑම ආලේපනයක් සම මත තවරන්නට දක්වන දැඩි කැමැත්ත යටත්විජිත මානසිකත්වයේම තවත් එක් අතුරු ප්‍රතිඵලයක් දැයි සිතෙන තරමට ඔවුහු කළුවන් සම ප්‍රතිෂේප කරති.
එහෙත් පැහැපත් බවකින් යුතු නම් සුදු පැහැ සම මෙන්ම කළු පැහැ සම ද දැකුම්කළුය. සැබැවින්ම වටින්නේ නිරෝගී පැහැපත් තරුණ බවින් යුත් සමක් මිස සුදු ද, කළු ද යන වර්ණ මත තීරණය වූ සමක් නොවේ. එහෙත් නිරෝගී ශක්තිමත් සමක අවශ්‍යතාව නොව කවර උපක්‍රමයකින් හෝ සුදු පැහැ ගත් සමක් අවශ්‍යතාව බවට පත් යුවතියන් හා කාන්තාවන්ගේ එම වුවමනාව සල්ලි ගරන උල්පත් බවට පත් කරගත් ඇතැම් රූපලාවන්‍ය ශිල්පීන්ගේ විවිධ ආලේපන නිෂ්පාදකයන්ගේ හා ගෙන්වන්නන්ගේ පැටිකිරියත්, එම ක්‍රම සහ ආලේපන මගින් සමට සිදු වන හානියත් පිළිබඳව අප මෙම තොරතුරු අනාවරණය කරන්නේ එහි හානිදායක බව කිසිදු ලෙසකින් සුළු කොට තැකිය නොහැක්කක්ම වන හෙයිනි.
එක්තරා කලා මාධ්‍යයක් තුළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින ශිල්පිනියක් මැද පෙරදිග රටකින් මෙරටට ගෙන්වන එන්නතක් මගින් කෙරෙන්නේ ද ඉතාමක් කෙටි කලකින් සම සුදු පැහැ කිරීමයි. මෙම එන්නතෙහි මිල රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලකි. පළමු එන්නත විද සති දෙකක පමණ කාලයකින් පසු අනිත් එන්නත විද ගත යුතුය. ඉතාමත් කෙටි කලක දී එම එන්නත මගින් සමට ලැබෙන සුදු පැහැය වසරක පමණ කාලයක් රඳා පවතී. සමේ සුදු පැහැය දිගින් දිගටම පවත්වා ගැනීමට නම් අදාළ කාල සීමාවෙන් පසු නැවත එම එන්නත සති දෙකෙන් දෙකට දෙවතාවක් වන සේ විද ගත යුතුය.
මෙම එන්නත මගින් සම සුදු පැහැ වීමේ ප්‍රමාණය එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒ පුද්ගලයාගේ සමෙහි සහ සිරුරේ ස්වභාවය එයට බලපාන හෙයිනි.
බ්ලීචිං ක්‍රීම් වර්ග ලෙස හඳුන්වන (විරංජන) ක්‍රීම් වර්ගවල කාර්ය වන්නේ ද ඉතාමත් කෙටි කලක දී සම සුදු පැහැ කිරීමයි. කෙටි කලක දී සමේ සුදු පැහැයක් ඇති කිරීම මගින් කෙරෙන්නේ සමේ ස්වාභාවික මෙලනින් තත්ත්වය පාලනය කර සමේ ඇති කරන පිළිස්සීමේ ක්‍රියාවලියක් ඔස්සේ සම සුදු පැහැයට හැරවීමය. මෙය සමේ ස්වාභාවිකත්වයට, නිරෝගී බවට සහ පැවැත්මට බෙහෙවින්ම අහිතකර වූ ක්‍රියාවලියකි.
දිගුකාලීනව බ්ලිචිං (විරංජන) ක්‍රීම් වර්ග භාවිතයෙන් සමට හානි සිදු වන ආකාර කීපයක්ම පවතී. සම මත පැල්ලම් ආකාරයක් ගත් ලප ඇති වීම ඒ එක් හානියකි.
අද වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරගත් කරුණක් වන්නේ සම සුදු කරන බොහොමයක් ආලේපනවල සමට කිසිසේත්ම හිතකර නොවන සංඝටක අන්තර්ගත බවයි. මෑතක දී ආලේපන සම්බන්ධව කළ පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වූයේ සම සුදු කරන අප ෆෙයාර්නස් ක්‍රීම් වර්ග ලෙස හඳුන්වන ආලේපන සියල්ලගේම පාහේ රසදිය අඩංගු බවයි. ෆෙයාර්නස් ක්‍රීම් වර්ග ලෙස වර්ග කර ඇති ආලේපන හතළිහකට ආසන්න සංඛ්‍යාවක් ඇසුරින් කළ පර්යේෂණයකින් මේ බව අනාවරණය විය.
සම මත ඇති මෙලනින් වර්ණකය අවම කිරීමේ විශේෂිත හැකියාවක් මෙම රසායනික සංයෝගය සතුව පවතී.
රසදිය අඩංගු ආලේපන දිගුකාලීනව භාවිත කිරීම සමේ පිළිකා ඇති කිරීමට ඍජුවම බලපාන්නකි. එමෙන්ම සම රතු වීම, සම කැසීම, සම ඉදිමීම ක්‍රීම් භාවිතය තුළ දී සම තුනීවීමේ ක්‍රියාවලියකට ලක් වීමෙන් සම බාහිර පරිසරය කෙරේ අධික ලෙස සංවේදී වීම, සම තුනීවී ඇදීමේ ස්වභාවයකට ලක් වීම, සම ඉක්මණින් එල්ලා වැටීම, සමේ තරුණ බව ඉක්මණින්ම අතුරුදන් වීම, සමේ මෙලනින් තත්ත්වය පිච්චී ගිය විට අව්වට ඔරොත්තු නොදීම, සමේ ලප ඇති කිරීම බ්ලීචිං වර්ගයේ ලා ගැනෙන ආලේපන වර්ග භාවිතයේ ප්‍රතිඵලය. තව ද සමේ තුවාලයක් වැනි දෙයක් ඇති වූ විට එය සුව වීමට කාලයක් ගත වීම ද මෙවැනි ආලේපන වර්ගවල තවත් ප්රතිඵලයකි.
මෙවැනි ආලේපන භාවිතයෙන් සමේ තුළිත බව බිඳ වැටී යන අතර සමේ නිරෝගී බව සහ ශක්තිමත් බව ද නැති වී යයි.
සමට ඇති කරන මෙම අහිතකර ප්‍රතිඵලවලට අමතරව රසදිය අඩංගු ආලේපන වර්ග භාවිතය දියවැඩියාව, මානසික ආතතිය, වකුගඩු රෝග, ඇදුම, ස්නායු ආශ්රිත රෝග, අක්මාව ආශ්රිත රෝග ඇති වීම කෙරෙහි ද බලපානු ලැබේ. දිගුකාලීනව මෙවැනි ආලේපන භාවිතය පුද්ගලයා මෙවැනි රෝග කෙරෙහි බඳුන් කරවීමේ හැකියාව සියයට පනහත්, හැටත් අතර ප්‍රතිශතයක් ගනී. රසදිය අඩංගු ආලේපන වර්ග සම මතුපිට ආලේපනය කළත් ඒ්වා ශරීරයට උරා ගත් විට ඒවා ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි කිරීමේ අවදානමක් පවතී.
අප පෙර සඳහන් කළ සම සුදු කිරීමේ එන්නත ඍජුවම ශරීරයේ අභ්‍යන්තරයට බලපායි. ඒ අය එන්නතක් ලෙස සමට එන්නත් කළ විට එහි අඩංගු සියල්ල ඍජුවම ශරීරයේ ඉන්ද්‍රියයන්ට බලපෑම් කරන හෙයිනි. එමෙන්ම ශරීරය මහත් වීමට ද කෑම රුචිය වැඩි වීමට ද මෙම එන්නත හේතු වන බව පැහැදිලිවී තිබේ.
ශ්‍රී ලංකාව යනු වසරේ වැඩි කාලයක් අධික අව් රශ්මිය පවතින රටකි. බ්ලීචිං ක්‍රීම් වර්ග දිගුකාලීනව භාවිතයෙන් සම මැදී තුනී වී අධිසංවේදී ස්වභාවයක් ගත් විට දැඩි අව් රශ්මියට ඔරොත්තු දීමේ හැකියාව අතුරුදන්වී නිරෝගී බවින් සහ ප්රතිශක්තියකින් තොර තත්ත්වයකට ලක් වේ. සම තුනී ස්වභාවයට පත් වූ විට එම සමට ”ක්ලීන්අප්” වැනි රූපලාවන්‍ය ප්‍රතිකර්ම කිරීම ද අපහසුය. සමේ සියුම් නහර පවා පෙනෙන තරමට සම තුනී වී යාම කොතෙක් අනතුරුදායක තත්ත්වයන් ඇති කරනවා ද යන්න කෙතරම් පැහැදිලි වුවත් සම සුදු කරගැනීම පමණක් එකම පරමාර්ථය බවට පත් කරගත් කාන්තාවෝ නොපැකිළිවම සමට සිදු කරන මෙවන් ආලේපන හා ප්‍රතිකර්ම කෙරේ නැඹුරු වෙති.
එමෙන්ම අද සම සුදු පැහැ කරන කරල් වර්ග ද (කැප්සූල) බොහොමයක් වෙළෙඳපොළේ පවතී. සම නිය කෙස් පෝෂණය කරන බව කියන, සම පැහැපත් කරන තරුණකම රඳන බව කියන මෙම කැප්සූල මිල අධික වුවත් දිගින් දිගටම මේවා භාවිත කරන්නට කාන්තාවෝ පෙළඹෙති. සම නිරෝගී නොවන ආකාරයකට සුදු කිරීම මෙම බොහොමයක් කැප්සූල මගින් සිදු වන්නේ ඒ අතර තවත් අනතුරුදායක තත්ත්ව ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන්වල ඇති කරමිනි.
අප රටේ සිටින තවත් ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙක් තම රූපලාවන්‍ය කටයුතුවලට ප්‍රචාරයක් ලබා දෙමින් කියන්නේ සති දෙකකින් සම සුදු කරන ආලේපනයක් තමන් ලබා දෙන බවයි. විරංජන ක්‍රියාවලියක් මගින් සම සුදු කරන මෙම ආලේපනය භාවිතයෙන් මාංශපේශීන් දුර්වල වීම මෙන්ම සමේ තුලිත බව සහ නිරෝගී බව බිඳ වැටීම ද සිදු වේ. සම ඉක්මණින් වියපත් බවක් ගන්නා ස්වභාවයක් දිස්වීමට දිගුකාලීනව මෙම ආලේපන වර්ග භාවිතය ඉවහල් වේ.
බ්ලීචිං ප්රතිකර්මවලින්් පසු ඉතා කෙටි කලකින් සම සුදු වෙයි. සමේ ඇති රෝම පවා ලා දුඹුරු වර්ණයක් ගනී. එහි දී ඍජුවම සිදු වන්නේ සම පිච්චීමකි. සුදු වීම සිදු වන්නේ ඒ පිච්චීමේ ක්‍රියාවලිය හරහාය. ඇතැම් බ්ලීචිං ආලේපන වර්ග සඳහා වැසිකිළි සේදීමට භාවිත කරන බ්ලීචිං පවුඩර් ද යොදා ගනී.
බ්ලීචිං ක්‍රීම් වර්ග භාවිතයේ දී සිදු වන්නේ එම්බාම් කළ ආකාරයකට සම ඉතාමත් කෙටි කලකින් සුදු පැහැ වීම මිස නිරෝගීමත් ලෙස සමේ කහ පැහැයක් ඇති වීම නොවේ. එය -කබර සුදු” යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ දී හැඳින්වේ.
ෆෙයාර්නස් ක්‍රීම් වර්ග ලෙස හඳුන්වන ආලේපන සියල්ලම පාහේ සමට ඉහත සාකච්ඡුා කළ සියලූ අනතුරු හා අතුරු විපාක ඇති කිරීමේ අවදානම සියයට සියයක්ම පවතී. නොදැනුවත්කම නිසා හෝ ඔබ මෙම ආලේපන භාවිතයට පුරුදුවී ඇත්නම් එයින් අත් මිදීමෙන් ඔබට නැවත නිරෝගීමත්, පැහැපත් සමක් ඇති කරගත හැකිය. මුහුණේ සමට පමණක් ෆෙයාර්නස් ආලේපන වර්ග භාවිත කළ විට මුහුණ පමණක් සුදු වී බෙල්ල, අත් පා තවත් පැහැයකින් යුතු වීම දක්නට ලැබෙන්නකි. සම පිළිස්සීමට ලක් කිරීමේ ප්‍රමාණය ඒ වෙනස මගින්ම මනාව පැහැදිලි වෙයි.
තායිලන්තයෙන් සහ චීනයෙන් ගෙන්වන ආලේපන වැඩි ප්‍රමාණයක රසදිය අන්තර්ගතය. අප රටේ පවතින නීතිය අනුව මෙන්ම ජාත්‍යන්තර සම්මත නීති අනුව ද සම පැහැපත් කීරීමේ ආලේපනවලට රසදිය එක් කිරීම තහනම් වුවත් ඒ නීති මෙම ආලේපන නිෂ්පාදනයේ දී වලංගු වී නොමැති වී ඇත්තේ කවර පදනමක දැයි අපි නොදනිමු.
ආලේපන නිෂ්පාදනයේ දී එහි ගුණාත්මක බවට නොව වෙළෙඳ අරමුණුවලට මුඛ්‍ය ස්ථානයක් ලබා දීම මේ වෙළෙඳ ලෝකයේ ක්‍රමයයි. එහෙයින් පරෙස්සම් සහගත වීම පාරිභෝගික ඔබේ වගකීමකි.
රාත්‍රි ආලේපන වර්ග ඇතුළු සම සුදු කරනා ආලේපන වර්ග ඇතැම් රූපලාවන්‍යාගාරවල දී අලෙවි කෙරේ. ඒ අලෙවි ආලේ්පනවල අදාළ රූපලාවන්‍යාගාරයේ නම සඳහන් ලේබලයක් මිස එහි අන්තර්ගත ද්‍රව්‍ය, නිෂ්පාදිත දිනය නිෂ්පාදන සමාගම, කල් ඉකුත් වීමේ දිනය ඇතුළු කිසිදු දත්තයක් සඳහන් නැත.
මෙවැනි ආලේපන වර්ග භාවිතය ඉතාමත් අනතුරුදායකය. ඒවා භාවිතයෙන් සමට හානියක් වූ විට වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වුවත් ප්‍රතිකාර ලබා දීමට යොමු වීමේ දී වෛද්‍යවරයා ද අඩංගු ද්රව්යයවත් සඳහන් නැති ආලේපනයක් සම්බන්ධව ගැටලූ සහගත තත්ත්වයකට පත් වන හෙයිනි.
අපි යළිත් ඔබට අනතුරු හඟවමු. අවදානම උදෙසා විවෘතව ඇති මාර්ග බොහෝය. ඒ මේ වෙළෙඳ ලෝකයේ ස්වභාවයයි. එහෙයින් විමසිලිමත් බව සහ පරිස්සම ඔබ සතු විය යුතුය.
No comments:
Post a Comment